Reset Password

Your search results

හුදෙකලාවේ සීතල තැනිතලාව ” හෝටන් තැන්න “

Published on June 27, 2016 by Ranjana Thanthrige

 

ලෝකාන්තය සොයා යන ‍කෙනෙකුට අප රටේ වෙනත් කිසිම පරිසර පද්ධතියක හමු නොවන අපූර්වතම හුදෙකලාවකින් යුත් සුන්දර තැනි තලාවක් හමු වෙයි. මෙම අති සුන්දර ජෛව විවිධත්වයෙන් යුතු වූ සීතල නුවර එළියේ පිහිටි වනෝද්‍යානය හෝටන් තැන්න යි.නුවරඑළියේ සිට මීපිලිමාන , අඹේවෙල , පට්ටිපොල හරහා කිලෝමීටර් 32ක් පමණ ගිය පසු හොර්ටන් තැන්න ජාතික උද්‍යානය හමුවේ.ඔබ දුම්රියෙන් පැමිණෙනවා නම් බදුලු දුම්රියේ පැමිණ ඔහිය හෝ පට්ටිපොළ දුම්රිය ස්ථානයන්ගෙන් බැස පැමිණිය හැකිය.හෝර්ටන් තැන්නට එම දුම්රිය ස්ථානවල සිට ඇති දුර කිලෝමීටර් 11-14 ත් අතර වේ.

ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි එකම ජාතික වනෝද්‍යානය වන හෝටන් තැන්න ‘මහ එළිය’ නමින් මුලින්ම හඳුන්වා ඇති අතර මෙය ලංකාවේ පිහිටි උසම තැනිතලා භුමිය යි.රාවණා රජු සීතා කුමරිය පැහැරගෙන විත් දඬු මොනරය ගොඩ බැස්වූ ස්ථානය තොටුපළ කන්ද ලෙස නම් කරන බව ද ඒ ගොඩ බැස්වීමේදී නිකුත් වූ මහා ආලෝක ධාරාව නිසා “මහ එළිය” නමින් හඳුන්වන බව ද හෝර්ටන් තැන්න ගැන ජන වහරේ ඇති කතාය.මෙය හෙක්ටෙයාර 3160 ක පමණ භූමිභාගයකින් සමන්විත තෙත් කලාපීය සදාහරිත වනාන්තරයකි. එය මුහුදු මට්ටමේ සිට මීටර් 1200-2300 පමණ උසින් මධ්‍යම කදුකරයේ පිහිටා ඇත. එසේම නොයෙක් විද්වතුන් ‍මෙය විවිධාකාරයෙන් අර්ථ දක්වා ඇත. එල්.සී කුක් (1930)නිරක්‍ෂිය වනාන්තර හා පහත් තණ බිම් කාණ්ඩයට ද, චැමිපියන් (1936) කදුකර වනාන්තර ලෙසට ද, චැප්ටන් (1947) නිවර්තන සදා හරිත වනාන්තර ලෙසට ද හදුන්වා ඇත.1920 දශකයේ ඉංග්‍රීසි ජාතික කපිතාන් විළියම් පිෂර් ,කර්නල් ඇල්බට් වොටිසන් යන දෙදෙනා විසින් මුලින්ම හෝටන් තැන්න සොයා ගෙන ඇත. එහෙත් මෙයට හෝටන් තැන්න යන නාමය ලැබී ඇත්තේ ශ්‍රීමත් හෝර්ටන් ආණ්ඩුකාරවරයාගේ සංචාරයෙන් පසුවයි. 1969 දී මෙම වනාන්තරය ස්වභාවික වනාන්තරයක් ලෙස නම් කරන ලදි.
ශ්‍රී ලංකාවේ ඇති කුඩාම ජාතික වනෝද්‍යානය වන්නේ හෝර්ටන් තැන්න ය. එය මධ්‍යකඳුකර ලෝක උරුමයේ කොටසක් සේ ද සැලකේ.මහවැලි, කැළණි හා වළවේ යන ප්‍රධාන ගංගා ත්‍රිත්වයේ ජලපෝෂක ප්‍රදේශයක් වන හොර්ටන් තැන්නෙන් බෙලිහුල් ඔය, කිරිකැටි ඔය, උමා ඔය මෙන්ම බගවන්තලාව ඔයවල් ද පෝෂණය කෙරේ. වන උයන් අතරින් වැඩිම පිරිසක් පැමිණෙන්නේ ද හොර්ටන් තැන්නට ය.ලෝකාන්තයෙන් පහත බලනවිට මීදුමෙන් තොර කාලගුණයක් පැවතුනහොත් ඔබ වාසනාවන්ත ය.ඒ මොකද කියනවා නම් මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිට සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, බලන්ගොඩ නන්පෙරියල් වතුයාය ඔබට දැකගන්න පුළුවන්.මෙම ස්ථානයෙන් කිහිප දෙනෙක්ම පහලට ඇද වැටිලත් තියෙනවා.ඒ අයගේ සිරුරු සොයාගත්තෙත් නන්පෙරියල් වතු යායෙන්.
මෙහි වසරකට පැමිණෙන දෙස් විදෙස් පිරිස දෙලක්ෂයකටත් අධික ය.ඔබ මෙහි යන්නේ නම් කාලගුණයේ ක්ෂණික වෙනස්වීම් වලට මුහුණ දීමට සුදානම් විය යුතුය.එමෙන්ම සැලකිල්ලෙන් අන්තරාදායක ස්ථාන නැරඹීම සිදුකල යුතුය.ඔබ හෝර්ටන් තැන්න උද්‍යානයට පස්වරු 3.00ට පෙර ඇතුල් වෙන්නත් අවශ්‍යයි.ඉන් පස්සේ ඔබට මේ තුලට ඇතුල් වෙන්න දෙන්නේ නෑ.ඒ වගේම ඔබ හෝර්ටන් තැන්න තුල කඳවුරු(Camp)ඉදිකර රාත්‍රියක් ගත කිරීමට බලාපොරොත්තු වෙනවා නම් මාසේකටවත් කලින් බත්තරමුල්ලේ(811/A Jayanthipura Main Rd) තියෙන වනජීවී දෙපාර්තමේන්තුවෙන්(0112888585) වෙන්කරගන්න වෙනවා.රැයක් ගත කරන්න යනවා නම් අධික ශීතලට ඔරොත්තු දෙන ඇඳුම් පැළදුම් අරගෙන යන්න.ශක්තිමත් ටෙන්ට් අරගෙන යන්න.ධාරානිපාත වැසි වලට මේ කුඩාරම් ඔරොත්තු දුන්නේ නැති වුනොත් ඔබ ලොකු කරදරයකට මුහුනපාවී.උද්‍යානය තුලට පොලිතින් ගෙන යාම නම් තහනම්.ඒත් වතුර බෝතල් ගෙනයන්න පුළුවන්.නමුත් ඒවා ඔබ අනිවාර්යෙන්ම නැවත උද්‍යානයෙන් පිටතට ගෙන ආ යුතුයි.වාහන නැවතුම්පලක් උද්‍යාන පිවිසුමේ තිබෙනවා.

 

 

 

Comments

comments

Category:Attractions

Leave a Reply